නොර්වේ මාධ්‍යවේදියා ජනපති ගෝඨා ට ලියයි : ආරක්ෂාව ඉල්ලයි…

Nadarajah Sethurupan News

ශ්‍රී ලංකාවේ සිට නෝර්වේ බලා පිටත්ව යාම පිණිස කටුනායක ගුවන්තොටුපල ට පැමිණි අවස්ථාවේ දී, කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන අංශය විසින් ගමන වලක්වා, ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට යොමු කළ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නොර්වීජියානු පුරවැසිභාවය හිමි මාධ්‍යවේදී නඩරාජා සේතුරූබන් ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා ඇත.

නඩරාජා සේතුරූබන් ශ්‍රී ලංකාවේ යාපනයේ ඉපදුණු අයෙකි. ඔහු වසර ගණනාවක් නෝර්වේහි පදිංචි එහි පුරවැසිභාවය ද හිමි සමාජක්‍රියාධරයෙකි. මාධ්‍යවේදියෙකි. කිසිවෙකුවිසින් ශ්‍රී ලංකාවේ පොලීසියට කරනලද චෝදනාවක් හේතුවෙන් ශ්‍රී ලංකාවේදී කිහිපවතාවක් ආරක්ෂ අංශ ප්‍රශ්නකිරීම්වලට ලක්වීය. මේ සම්බන්ධයෙන් ඔහු විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ට ද පැමිණිල්ලක් කර තිබුණි.

ඊයේ (21) අලුයම් කාලයේ කටුනායකදී ත්‍රස්ත විමර්ශන අංශය වෙත යොමු කළ නඩරාජා සේතුරූබන් ට යාපනයේ දී යළි ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන ලෙස එහි නිලධාරීන් විසින් දන්වා ඇත. මේ සම්බන්ධයෙන් හා තම ජීවිතයට තර්ජනයක් ඇතැයි පවසමින් ඔහු විසින් ඊයේම ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් මගින් ආයාචනයක් ඉදිරිපත්කර තිබේ.

පහතින් පලවන්නේ එම ලිපියයි.

2020 ජුනි 21

ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා
ශ්‍රී ලංකා ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 1

අතිගරු ජනාධිපතිතුමනි,

විෂය : ජාත්‍යන්තර මාධ්‍යවේදියකුට තිබෙන ජීවිත තර්ජන නිසා රජයේ ආරක්ෂාව පැතීම

මම නෝර්වේජියානු පුරවැසියෙකු සහ www.norwaynews.com වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ වන නඩරාජා සේතුපරන්ය.

මම නැවත නෝර්වේ වෙත යන තෙක් මගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම ඔබගේ හදිසි අවධානය යොමු කිරීම සඳහා මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමි.

මම මීට වසර විස්සකට පෙර නෝර්වේ වෙත සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයෙක් වෙමි. විද්‍යුත් ලිපිනය – news@norwaynews.com.

වැඩිවියට පත් මගේ දියණියගේ සාදය පැවැත්වීමට 2019 දී මම මගේ පවුලේ අය සහ යුරෝපයේ සමීප නෑදැයන් සමඟ ශ්‍රී ලංකාවට පැමිණියෙමු. අවාසනාවකට මෙන් මාව නෙල්ලියඩි පොලිස් ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නිසා යෝජිත සාදය අවලංගු කිරීමට සිදුවිය.

මගේ පවුලේ සාමාජිකයින්ට මා හැර දමා ආපසු යාමට සිදු වූ අතර එය අපගේ මුළු පවුලටම කම්පන සහගත තත්වයක් විය. එය මුළුමනින්ම ගොතන ලද පැමිණිල්ලක් බැවින් මාව නිදහස් කරන ලදී.

නැවතත් මට පොලීසිය විසින් තවත් නඩුවක් සඳහා අවශ්‍ය වූ අතර ඒ සඳහා මට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබා දෙන ලදී. මෙයද ගොතන ලද නඩුවක් වන අතර ජීවිතයට ඇති තර්ජනය හේතුවෙන් මට සැඟවී සිටීමට සිදුවිය. නෝර්වීජියානු පුරවැසිභාවය සහිත පිළිගත් මාධ්‍යවේදියෙකු ලෙස මම නීති උපදෙස් ලබාගෙන අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළෙමි.

අභියාචනාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුව අවලංගු කර කොළඹ ආගමන හා විගමන කාර්යාලයෙන් මගේ විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන ඔස්ලෝ වෙත ආපසු යාමට මට අවසර දුන්නේ මගේ විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා භාර දී සිටි හෙයිනි.
මම නැවත නෝර්වේ වෙත ගිය නමුත් පැහැදිලිවම ගොතන ලද සිද්ධීන් නොතකා, උසාවියේ කටයුතු අවසන් කිරීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණියෙමි. කෝවිඩ් – 19 වසංගතය හේතුවෙන් මට ශ්‍රී ලංකාවේ සිටීමට තිබූ අතර නැවත නෝර්වේ බලා යාමට නොහැකි විය.

මෙම පැමිණිලිවල ස්වභාවය නිසා, මගේ ජීවිතයට තර්ජනයක් ඇති බව මට පැහැදිලි විය, එමඟින් මගේ ගමන් විධිවිධාන අවසන් වන තෙක් රහසේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යාමට මට සිදුවිය.

මෙම කාල පරිච්ඡේදය තුළදී, අනපේක්ෂිත ලෙස කන්කසන්තුරේදී පරීක්ෂණයක් සඳහා මාව කැඳවනු ලැබූ අතර, මම පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දුනිමි. නාඳුනන පාර්ශවයන්ගෙන් දිගින් දිගටම එල්ලවූ මේ සියලු හිරිහැර කිරීම් නිසා මට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් නෝර්වේ කරා ගොස් මගේ වැඩ ආරම්භ කිරීමට ය.

2020 ජුනි 21 වනදා පාන්දරින් පිටත් වන ගුවන් යානයේ ආසනයක් වෙන් කරවා ගැනීමට මට හැකි වූ අතර, අධිකරණ නියෝගයක් උපුටා දක්වමින් කටුනායක ගුවන් තොටුපොල ආගමන විගමන අංශය විසින් මාව රඳවා තබන ලදී. මට රටෙන් පිටවීම වලක්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ( TID) විසින් ප්‍රශ්න කරන ලදී. පරීක්ෂණයක් සඳහා ටීඅයිඩී යාපනයේ ප්‍රධාන කාර්යාල පොලිසියට පැමිණෙන ලෙස මට දැන් උපදෙස් දී ඇත.

මම ශ්‍රී ලංකාවේ හෝ වෙනත් තැනක කිසිදු අපරාධයක් කර නොමැති අතර, මා පැහැදිලිව නොහදුනන කොටස් විසින් ඉලක්ක කර ඇති ආකාරය දැක මම කම්පාවට පත් වෙමි. මෙම පැමිණිලි නිසා මටත් මගේ පවුලේ අයටත් දැඩි කම්පනයක් ඇති වී ඇති අතර නීතිමය ගාස්තු වශයෙන් මට විශාල මුදලක් වැය විය.

ත්‍රස්තවාදී හා පාතාලයේ සාමාජිකයන් මා ඉලක්ක කරගෙන ඇති බව මට හැගේ.. මම ස්වාධීන මාධ්‍යවේදියෙක් වන අතර දැන් මම තේරුම්ගත නොහැකි ප්‍රහාරයකට දැඩි ලෙස ගොදුරු වෙමින් තිබෙන බව පැහැදිලිය.

මගේ පසුබිම පරීක්ෂා කරන ලෙස මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, වහාම පහත සඳහන් කරුණු සොයා බලන ලෙස ඉල්ලා සිටිමි.

1) ශ්‍රී ලංකාවේ මම රැඳී සිටින කාලය තුලදී මට අවශ්‍ය ආරක්ෂාව සැපයීම.

2) මෙම තත්වය හේතුවෙන් මගේ උපන් ගම වන උතුරට යාමට බියක් ඇති බැවින් ඕනෑම පරීක්ෂණයක් කොළඹ TID කාර්යාලයේ සිදුකිරීම.

3) මෙම පොලිස් පරීක්ෂණ වේගවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම. මේ මගින් මට ආරක්ෂිතව ආපසු ගෙදර යාමට හැකිවනු ඇත

4) මේ සමගම විශේෂ සිද්ධි අධ්‍යයනයක් ලෙස මට එරෙහි පැමිණිලිවල ස්වභාවය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම මගින් මෙවැනි සාවද්‍ය තත්ව වලින් අහිංසක අය ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇත.

මට හැකි ඉක්මනින් මගේ පවුල වෙත ආපසු යා යුතු අතර මෙය මගේ පවුලේ අයට සහ දරුවන්ට මෙන්ම උතුරේ වෙසෙන මගේ දෙමව්පියන්ට ද සැනසිලිදායක සහගත තත්ත්වයන් ඇති කරනු ඇත.

මම නෝර්වීජියානු පුරවැසියෙකු බැවින් නෝර්වේ අගමැතිවරයා ඇතුළු නෝර්වීජියානු බලධාරීන්ට මෙය පිටපත් කරමි. . ඒ සමගම ශ්‍රී ලංකා අගමැති ගරු මහින්ද රාජපක්ෂ මහතා , පොලිස්පති ඇතුලු අදාල අයට පිටපත් කරමි

මගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමටත්, මගේ පවුල සමඟ එක්වීමට රට හැර යාමට මටත් ඉඩ දෙනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි

කාරුණිකව ඔබට සුබ පතමි.

එන් සේතුරපන්
ප්‍රධාන කර්තෘ
www.norwaynews.com

පිටපත් –
ශ්‍රී ලංකා පොලිස්පති
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති
නෝර්වේ හි ශ්‍රී ලංකාවේ තානාපති
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමසාරිස්

Recommended For You

About the Author: janith

Leave a Reply

Your email address will not be published. Required fields are marked *