කොරෝනාවෙන් පසු අපේ සංචාරක කර්මාන්තය ගැන ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක්ගෙන්…

Saman Priyankara Arti News 20200619

කොවිඩ් 19 වර්ධනයත් සමඟම ලොවපුරා සංචාරක කර්මාන්තය බරපතල ලෙස කඩා වැටුණි. මේ වනවිට බොහොමයක් රටවල තත්ත්වය සමනය වෙමින් පවතින අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ඇරඹීම සඳහා විවිධ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා වෙමින් තිබේ. ලොවම වෙලාගත් අති දුෂ්කර වසංගත තත්ත්වයකින් පසු, රට ට විදේශ විනිමය ගෙන එන ලක්ෂ ගණනක් වන ශ්‍රී ලාංකිකයන් ට සෘජු සහ වක්‍ර රැකියා සපයන සංචාරක කර්මාන්තය යලි ගොඩනැගීම ඉතාම සැලසුම් සහගතව සිදුකළ යුතු ය. කෙසේවෙතත්, කොවිඩ් 19 වසංගතය පූර්ණ ලෙස අවසන්වීමක් තවත් වසර ගණනාවකට සිදු නෙවන බව පැහැදිලිය. එය ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් මෙන්, විටෙක මතුවෙමින් විටෙක යටයමින් තවත් කාලාන්තරයක් පවතිනු ඇත. එබැවින් පුර්ණ ලෙස කොරෝනා වසංගතය තුරන්කිරීමෙන් පසුව සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමට සිතන කෙනෙකු වේනම්, ඔහුගේ හෝ ඇයගේ සිහිනය සැබෑ වීම සඳහා තවත් බොහෝ කලක් බලා සිටීමට සිදුවනු නොඅනුමානය.

මෙම නව කොරෝනා වසංගතය දරුණුම තත්ත්වයක පැවැති මුල් වකවානුවේදී වුව ද සම්පුර්ණයෙන්ම වාසා නොදමා කටයුතු කල රටවල් ද නොතිබුණා නොවේ. නමුත් ඒ ආකාරයට කටයුතු කිරීමට පහසු වීමට එම රටවල ජනතාවගේ හැසිරීම ද විශාල ලෙස බලපෑවේය. උදාහරණයක් ලෙස ජපානය ගතහොත්, රඑට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ ද ඇඳිරිනීතිය පැනවුයේ නැත. ජපානයේ හදිසි තත්ත්වය ප්‍රකාශයට පතකිරීමෙන් පසුව ජනතාව නිවාසවල රැඳීසිටිමින් තත්ත්වය පාලනය කරගැනීමට රජයට සහයෝගය දැක්වීය. ජපානයේ කිසිදු කාර්යාලයක වැඩකටයුතු පුර්ණ ලෙස ඇනහිටියේ නැත. බොහොමයක් දෙනා නිවසේ සිටිමින් තම කාර්යාල කටයුතු අන්තර්ජාලය හරහා සිදුකළේය. අත්‍යවශ්‍යම පිරිස පමණක් කාර්යාලවලට ගියහ. පාසල් වසා තිබුණ ද අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ කරගෙන ගියේය. ජපානයේ මේ වනවිට හදිසි තත්ත්වය සම්පුර්ණයෙන්ම ඉවත් කොට වැඩ කටයුතු සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යයි. 

එසේ වුවත්, ජපානයේ හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමෙන් පසුව සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන්ම වාගේ කඩාවැටිණි. එනමුදු මේ වනවිට තෝරාගත් රටවල් සමඟ සංචාරක කටයුතු ඇරඹීම ට ද ජපානය පියවර ගනිමින් සිටී තිබේ. ජුලි 15 වනවිට සියලුම ගුවන් ගමන් යාවත්කාලීන කිරීමට ද කටයුතු සුදානම් කර ඇති අතර, සංචාරකයන් හට පීඩාවකින් තොරව රට ට පැමිණීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් තිබේ. සතුට ට කරුණනම් ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනය ක්‍රමවත්ව සිදුවූ හෙයින් මේ මොහොතේ ද ශ්‍රී ලාංකිකයන් ට ජපානය ට පැමිණීමට කිසිදු බාධකයක් පනවා නොමැති වීමයි. ශ්‍රී ලාංකිකයකු ජපානයට ඒමට ප්‍රථම PCR පරීක්ෂණ කරගෙන සහතික රැගෙන ආයුතු නැත. ආගමන විගමන නිලධාරීන් සිටින පරිශ්‍රයට පැමිණීමට පෙර පිහිටුවා ඇති සොඛ්‍ය සේවා නිලධාරී කුටියට   ජපානයට පැමිණීමට පෙර දින 15 සිටියේ කුමන රටේ ද යන්න දැනුම් දිය යුතුය. පසුගිය දින 15ක් තුල ශ්‍රී ලංකාවේ සිටි අයෙකුනම්, ආගමන විගමන කටයුතු නිමවා රටට ඇතුල්විය හැකිය. ඒ හැර වෙනත් කිසිදු පරීක්ෂණයක් හෝ රඳවා ගැනීමක් ජපානය විසින් සිදු නොකරයි.

ශ්‍රී ලංකාව ද මේ ආකාරයෙන් තෝරාගත් රටවල් සමඟ පමණක් මුල් වටයේදී සංචාරක කටයුතු ඇරමීමට කටයුතු සූදානම් කළ යුතුය. රටේ ආරක්ෂාව වෙනුවෙන් යෝජනා කර ඇති ආකාරයේ PCR පරීක්ෂණය රටට ඇතුල්වීමේද දී සිදුකළ හැකිය. මෙවන් ක්‍රමවේදයක් අපි එකහෙළා අනුමත කළ යුතු වෙමු. නොඑසේව ලංකාවට පැමිණීමට පැය 72 කටපෙර PCR පරීක්ෂණ කරගෙන, පෙර පැවති මිල මෙන් දෙගුණයක මුදලක් වියදම්කොට ගුවන් ටිකට් පතක්ද මිලදීගෙන ලංකාවට සංචාරකයකුට යාමට ඇති විශේෂ අවශ්‍යතාවයක් තිබේද යන්න මේ ක්‍රමවේදයන් සකසන උදවිය කල්පනාකාර බැලිය යුතුය. ‘නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත් පට්ටයකුත් තවත් ටිකක් අවශ්‍යය’ කියන්නාක් මෙන් නොගැලපෙන, නොකළ හැකි ක්‍රමවේදයන් හඳුන්වදීම රටේ ආර්ථිකය තවතවත් අගාධයකට ගෙනයාමට ඉවහල් වනුඇත. 

අද දින මා සතුකරගත් තොරතුරු අනුව ඔය කියන ආකාරයේ PCR පරීක්ෂණ කරගෙන ශ්‍රී ලංකාවට යෑමට යන වියදම දල වශයෙන් මෙසේය.

PCR  පරීක්ෂණයට යන වියදම Yen 45,000 + මේ කටයුත්ත සඳහා දිනක් හෝ දෙකක් රැකියාවෙන් නිවාඩු ගත යුතුය.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ ටිකට් පත සඳහා නව මිල Yen 155,000 (කලින් මිල Yen 85,000)

ශ්‍රී ලංකාවට යාම සඳහා විසා ලබාගැනීමට Yen 3800

මුළු මුදල Yen 203,800 (ලංකාවේ මුදලින් නම් රුපියල් 355,550)

ජපානයේදී PCR පරීක්ෂණ කරන තැන් සැමතැනම නැත. එය කරගැනීමට අවමයෙන් දිනක් රැකියාවෙන් නිවාඩු ලබාගෙන ඒ සඳහා යායුතුය. ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරී මහත්මයෙකු මා හට පැවසුවේ මෙතෙක් ඔහුට සොයාගැනීමට හැකිවුයේ PCR පරීක්ෂණ කළහැකි ස්ථාන දෙකක් පමණක් බවයි. ඒ අනුව බලන කල කුමන හෝ මානසික රෝගියකු හැර සිහිකල්පනාව ඇති කෙනෙකුනම් මෙතරම් කට්ටක් කාගෙන ශ්‍රී ලංකාවේ සංචාරයට යන්නේ නැත. යෑමේ අවශ්‍යතාවක් නැත.

කොරෝනා වසංගත තත්තවයෙන් පසු නව ලෙව සංචාරක කර්මාන්තය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යලි නගාසිටුවීම වහ වහා සිදුවිය යුතුය. ඉන් උපයන විදෙස් විනිමය මෙන්ම දේශීය ආදායම් ද විශාල ප්‍රමාණයක් බව පැහැදිලිය. එසේ හෙයින් පිණිස මෙම කරුණු ද සැලකිල්ලට ගන්නා මෙන් මේ පිළීබඳ අවංක උනන්දුවක් දක්වන බලධාරීන්ට දන්වා සිටිමි.

සමන් ප්‍රියංකර
ජපානයේ සිට…
2020 ජුනි 19 

කොවිඩ් 19 වර්ධනයත් සමගම ලොවපුරා සංචාරක කර්මාන්තය බරපතල ලෙස කඩා වැටුනි. මේ වනවිට බොහොමයක් රටවල තත්වය සමනය වෙමින් පවතින…

Posted by Saman Priyankara on Friday, June 19, 2020

Recommended For You

About the Author: janith

Leave a Reply

Your email address will not be published. Required fields are marked *