නාමල් කෝච්චියෙන් ගමන් බිමන් යනවට බය පුතාලා දූලා…

Namal Ad 20200627

නාමල් කී පමණින් අද වනවිට රටේ ලොකු කුඩා කාගෙත් සිතට නැගෙන්නේ එකම චරිතයකි. ඒ, නාමල් රාජපක්ෂ ය. නාමල් රාජපක්ෂ නව දක්ෂිණ දුම්රියෙන් ගමනක් ගොස් බෙලිඅත්තෙන් බැස ගෙදරයනවා දකින්නට, මේ දිනවල විද්‍යුත් මාධ්‍ය මෙන්ම අන්තර් ජාලයේ සැරිසන්නෝ වාසනා මහිමයක් උදාකරගෙන ඇති සෙයකි. එය වාසනාවක් බව හැඟෙන්නේ, ඒ ගමන අරුමයක් කොට සලකා ඊට එබිකම් කරන්නට වත්මන් සමාජයේ විවිධ තරාතිරම්වල ඈයින් උත්සුක වන නිසාය. එපමණකින් නොනැවතී, ඒ පිළිබඳව නොයෙක් ඌණපූර්ණයන් සේම චෝදනා අවලාද අපහාස ද එක්කරනු දක්නට හැකිය. 

කිසියම් යුවතියක් විසින් “ආයුබෝවේවා මහ රජාණෙනි…” යැයි ගීයකින් නාමල්ගේ පියා වෙනුවෙන් ප්‍රශස්ති ගැයූ කල්හි, නිරායාසයෙන්ම නාමල් රාජ කුමාරයෙක් බවට පත්වීය. තවත් ආකාරයකට පැවැසුවහොත්, රාජපක්ෂ පවුල ම රජ පවුලක් වීය. එහි ද වරද දුටුවෝ අනන්තවත් වූ හ. අපේ සමාජයේ අම්මෙක් හෝ තාත්තෙක් හෝ තම දරුවාට හෝ තම ලබැඳියා ට “උඹ මට රජෙක්” යැයි පවසන්නේ නම් ඒ ඔහු ට හෝ ඇය ට අනෙකා කෙරෙහි ඇති අගය පහසුවෙන් හා තම තම වාග් ව්‍යවහාරයෙන් උපරිමව ප්‍රකාශකිරීමක් බව අමුතුවෙන් නොකිව මනාය. ඒ අනුව, වත්මන් දේශපාලන තීරුවේ පාලකයින් අතරින් තම අද්දැකීම් සමුදායට ලඝුකොට, කිසිවෙක් විසින් මහින්ද රාජපක්ෂගේ සිට අත්‍යන්ත සියල්ලෝම රාජ්‍යත්වයෙන් හෝ දේවත්වයෙන් සලකන්නේ නම් එහි ඇති වරදක්නම් මට නොපෙනෙයි.

කෙසේවෙතත්, අද වනවිට දකින්නට ලැබෙන තේමා ගීතයක රූපරාමු ඔස්සේ, නාමල් රාජපක්ෂ දරුවා සාමාන්‍ය මගී දුම්රියකින් බැස, අපේ තරුණ සහෝදරයෙක් ලෙස නිවස බලා පිටත්වයාම ඇතැමෙක් අපහාසාත්මකව විවේචනය කිරිම තුල ගැබ්ව ඇත්තේ මේ පෙරකී ගරුත්වය දක්වන්නාගේ සිතිවිලි පරයා “කුහකත්වය” ඉස්මතුවීමකි. කුහකත්වයට ප්‍රති විරුද්ධ පර්යාය පදයක් ලෙස “මෙත් සිතින්” දුම්රිය ගමන විමසන්නෙක් නම් ඒ අනෙකක් නොව රාජපක්ෂලා කෙරෙහි දශක කිහිපයක සිට රටේ බහුතරයක් තුල පවත්නා කෘතවේදීත්වය විදහන්නකි.

මේ අනුව, නාමල් රාජපක්ෂ සාමාන්‍ය මගී දුම්රියකින් ගමන් බිමන් යාම නොරුස්නා පිරිසක් සිටිනා බව පැහැදිලිවෙයි. එනම්, ඔවුන්ගේ මතය වන්නේ, නාමල් රාජපක්ෂ රජ පැටියෙක් ලෙස, රාජ ඌෂ්ණය විහිදුවමින්, රාජ තේජසින් බැබලෙමින්, රාජරාජ මහාමාත්‍යාදීන්ගේ ගමන් විලාශය ට අනුව, ඊට ම උචිත යාන වාහනවලින් ම ගමන් බිමන් යායුතු බවකි. සත්‍ය වශයෙන්ම, මේ රූපරාමු හා නාමල්ගේ දුම්රිය ගමන නිර්දය විවේචනයට ලක්කරන ඇත්තන් බලාපොරොත්තුවන්නේ එය නොවේද ? 

මැතිවරණයෙන් පසුව වුව ද, තමන්ට හැකියාවක් ඇත්නම් හා කාලය කළමනාකරණය කරගැනීමට හැකියාවක් තිබේනම් නාමල් ට වුව කොළඹ බලා යාමට දැන් බෙලිඅත්තේ සිට සුඛෝපභෝගී දුම්රියක් ඇත. එය, “නාමල්” අධිවේගී මග ඔස්සේ කොළඹ ට ලංවන වේලාවටත් කලින් මරදාන ට ම ලංවෙයි. එබැවින්, ඉඳහිටවත් ඒ ගැන සිතා බලා කටයුතු කරන්නට නාමල් පුත්‍රයා උනන්දුවනු ඇත. ඒවෙනුවෙන් වන පෙරහුරුවක් ලෙස ද නාමල්ලා ට මෙම දුම්රිය ගමන් විවේචන දරාගැනීමට සිදුවනු ඇත. දරාගැනීම කෙසේ වෙතත්, මෙම විවේචන අධ්‍යයනය කළ යුතුය.

කෙසේ නමුදු, මෑතකදී රටේ සිදුවූ සිදුවීම් කිහිපයක් අරබයා නාමල් රාජපක්ෂ නම් රජ දරුවා දක්වා තිබූ ප්‍රතිචාර පැසසුම් කටයුතු බවත් මෙහිලා සඳහන් කළ යුතුය. අවාසනාවකට මෙන්, ඔහුගේ එම විවේචනාත්මක හා යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් වූ අදහස් ඔහුගෙන් ම හැර වෙනත් පාර්ශවයන්ගේ බහුල අගැයීමට ලක් නොවුණි. එය ද මේ පොදු ප්‍රවාහන සේවයේ නාමල් ගමන් බිමන් යාමෙන් ඇහේ කටු ඇනගත් ආකාරයේම සෙවනැල්ලකි. අවස්ථානුකූලව නාමල්ගේ එම ප්‍රකාශයන් වෙනුවෙන් වූ සදය විවේචනයක්වත් ඉස්මතු නොවූ බව ද වටහාගතයුතුය.

අද ට අවසන් වශයෙන්, නාමල් ට හෝ රාජපක්ෂ පවුල ට හෝ පොදු ප්‍රවාහන සේවය භාවිතකිරීම අකැප බව පවසන්නන්ට කිව හැක්කේ, ඔබ පොදු ප්‍රවාහන සේවය භාවිත නොකොට වෙනත් මගක් තෝරාගන්නා ලෙසයි. එවිට තවත් පහසුවෙන් රාජපක්ෂලා ට පොදු ප්‍රවාහන සේවය භාවිතකිරීමට අවස්ථා උදාවෙනු ඇත.

– ජනිත් විපුලගුණ –
– 2020 ජුනි 27
– මාතර දී ය.

https://www.youtube.com/watch?v=31pIAILVU1Y

Namal Ad 20200627

Recommended For You

About the Author: janith

Leave a Reply

Your email address will not be published. Required fields are marked *